home|info|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 

Dec 26, National Safety Day


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඉතාලියේ කළ සංචාරයක ප්‍රතිඵලයක් ලෙස, ඉතාලි රජයේ සිවිල් ආරක්ෂක සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හා ආපදා අවම කිරීමේ ක්ෂේත්‍රයන් හා තාක්ෂණික කටයුතු සඳහා රුපියල් මිලියන 750ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

පසුගියදා ජල ගැලීම්වලට ලක්වූ මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව හා දඹුල්ල ආදී ප්‍රදේශවල ජල ගැලීම් පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති සඳහාද මෙම මුදලින් කොටසක්ද වෙන් කෙරේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඉතාලියේ ජනාධිපති ‍ජෝර්ජියෝ නැපොලි‍ටානෝ මහතා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මුණ ගැසුණු අවස්ථාවයි. මීට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති හේමන්ත වර්ණකුලසූරිය හා ආපදා කළමනාකරණ හා මානව ‍හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් පීටර් ඩයස් අමරසිංහ මහතා ද සහභාගී විය.


මතුගම පොදු වෙළඳ පොළ භූමියේ හදිසියේ ඇති වූ විදුලි කාන්දුවීමකින් වෙළඳ සැල් කිහිපයක් ගින්නට හසුවී මුළුමනින්ම විනාශ වී තිබූ අතර අදාළ සිද්ධිය පරීක්ෂා කිරීම සඳහා එහි පැමිණි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙළඳ සැල් හිමියන් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් සමඟ ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ඒ අනුව මූලික පියවරක් ලෙස අදාළ වෙළඳ සැල් හිමියන්ට, අවශ්‍ය සෙවිලි තහඩු ලබාදීමට කළුතර ආපදා මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.


පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

දෙපාර්ශ්වීය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් නියෝජිත පිරිසේ නායකත්වය දරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බෙටී විලියම්ස් මහත්මියයි. සෙසු අය අතර ලෝඩ් ඩොලාකියා, සයිමන් බර්න්ස්, ග්‍රෙග් හැන්ඩ්ස් යන පිරිසද ඡායාරූපයේ වෙති.



ජිනීවා නුවර පැවති 15 වන කාලගුණ විද්‍යා සමුළුවේ සමාරම්භක කතාව පැවැත්වීමේ අවස්ථාව ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යතුමන්ට හිමිවෙයි

15 වන කාලගුණ විද්‍යා සමුළුව පසුගිය මැයි 7 වන දින සිට 25 වන දින තෙක් ජිනීවා නුවරදී පැවැත්විණි. එහිදී විශාල පරාසයක විහිදුණු කාලගුණික සහ පවතින පරිපාලන අංශ පිළිබඳව අවධානය යොමු කිරීමට අවස්ථාව සැලසිණි. සෑම සිව්වසරකටම වරක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා උසස් රාජ්‍ය නිලධාරින්, ලෝක ‍කාලගුණික විද්‍යා සංවිධානයේ නි‍යෝජිතයන් ‍සහභාගි වෙති.

ශ්‍රී ලංකාව හා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අතර ඇති දැඩි සබඳතාවය හේතුකොට මැයි 7 වන දින ‍පැවති සමුළු‍වේ සමාරම්භක දිනයේදී සමාරම්භක කතාව පැවැත්වීමට ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධ්‍යක්ෂ ජී.එච්.පී. ධර්මරත්න මහතාද සහභාගි විය.

මැයි 7 වන දින ජිනීවා නුවර පැවති 15 වන කාලගුණ විද්‍යා සමුළුවේදී ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යතුමන් විසින් පවත්වන ලද කතාව මෙසේය.

සම්භාවනීය අමුත්තනී,
නෝනාවරුනි,
මහත්වරුනි,

ලෝක කාලගුණ විද්‍යා සමුළුව ඇමතීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙමි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එහි සාමාජික රටවල් සඳහා කාලගුණික හා අපදා කළමනාකරණය වෙනුවෙන් සිදු කරන දැවැන්ත කාර්යයන් පිළිබඳව අවබෝධයක් ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මා සතුයි. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ඇතිවී ඇති කාලගුණික විපර්යාසයන් ‍දෙස බලන කල ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ඇති වැදගත්කම තවදුරටත් කැපී පෙනෙයි. 2004 දෙසැම්බර් 26 දින සිදුවු අනපේක්ෂිත අවාසනාවන්ත සුනාමි ව්‍යසනයෙන් ඇති වූ විනාශකාරී තත්ත්වයන් පිළිබඳ ‍සොයාබැලීමට හා අවශ්‍ය කටයුතු හා ආධාර උපකාර සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක කාලගුණ විද්‍යා සංවිධාන‍යේ ප්‍රධානි හට මාගේ ස්තූතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි. ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය නවීන සන්නිවේදන ක්‍රම, පුහුණු ශ්‍රම සහ තාක්ෂණික මාර්ගෝපදේශකත්වය ආදිය ලබාදීම සඳහා ලෝක ‍කාලගුණ විද්‍යා සංවිධානය මැදිහත් වී කටයුතු කරන ලදී. එමෙන්ම මේ වන විටත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක්, වැඩිදියුණු කරන ලද වායු නිරීක්ෂණ පද්ධතියක් සහ කාලගුණ නිරීක්ෂණ පද්ධතියක් ඇතුළත් ධාරිතා ගොඩනැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි හා අනෙකුත් කාලගුණ ව්‍යසන සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වශයෙන් කටයුතු කරයි. සුනාමි පූර්ව අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානයක් වශයෙන් දෙපාර්තමේන්තුවේ කටයුතු සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන අන්දමින් කටයුතු වැඩිදියුණු කර ඇත. එසේම ජපාන කාලගුණ විද්‍යා නියෝජිතායතන සහ හවායිහි පිහිටි පැසිපික් කලාපීය සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සමඟ ක්‍රමෝපායික සම්බන්ධතාවයන්ද පවත්වයි. සුනාමි ව්‍යසනයෙන් පසුව ගෙවී ගිය පසුගිය වසර දෙකක කාලය පුරා ස්වාභාවික ව්‍යසනයන් සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම්, අවදානම් අවම කිරීම් සහ ස්වාභාවික ආපදා කළමනාකරණය වර්ධනය ආදිය වෙනුවෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශේෂ පියවර ගණනාවක් ගෙන ඇති අතර අවදානම් කළමනාකරණය පිළිබඳ ජාතික සංවර්ධන ක්‍රමෝපායක් වශයෙන්ද විශේෂ අවධානයක් යොදා කටයුතු කර ඇත.

සුනාමි ව්‍යසනය ඇති වූ විගසම මාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලද අතර එහිදී ව්‍යසනයන් වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර ආරක්ෂක කටයුතු, අවදානම් අවම කිරීම ආදිය වෙනුවෙන් එහිදී අවධානය යොමු කරන ලදී. කමිටු‍වේ පරීක්ෂණ කටයුතු ඉතා විනිවිදසුළු බවක් සහිතව දේශපාලනික සම්බන්ධතාවලින් තොරව සිදු කළ අතර අවසන් අපේක්ෂාව වූ වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා යන අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම ඉලක්ක විය. එම කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව රට තුළ ඇති වන ආපදා අවදානම් කළමනාකරණය සඳහා වූ ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය නීතිමය පදනම සකස් කර ගනිමින් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත ස්ථාපිත කරන ලදී. මෙම පනත මඟින් ජනාධිපතිතුමන්ගේ ප්‍රමුඛත්වයෙන් ආපදා කළමනාකරණ ජාතික කවුන්සලය පිහිටුවන ලද අතර එමඟින් රට තුළ ආපදා කළමනාකරණය වෙනුවෙන් වූ මාර්ගෝපදේශනය සහ ආපදා කළමනාකරණ නියෝජිත ආයතනය සඳහා ප්‍රමුඛත්වය ගන්නා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සිදු කරයි. එම ක‍ටයුතු ගැසට් නිවේදනයක් යටතේ මාගේ අමාත්‍යාංශයට යටතට පවරා ඇත.

අවදානම් අවම කිරීම සඳහා ප්‍රතිචාර මත පදනම් වු යාන්ත්‍රණයක සිට පූර්ව ක්‍රියාකාරී ප්‍රවේශයකට ප්‍රතිපත්ති සැකසීමක් සිදු කරමින් ශ්‍රී ලංකාව, ආපදා අවදානම් කළමනාකරණය වෙනුවෙන් මධ්‍යගත පුළුල් ‍ප්‍රවේශ රාමුවක් ස්ථාපිත කර ඇත. ස්වාභාවික ආපදා කළමනාකරණය ‍වෙනුවෙන් බහුවිධ කොටස් හිමියන්ගේ දායකත්වය සහිත සුරක්ෂිත ශ්‍රී ලංකා කරා - අපදා කළමනාකරණය වෙනුවෙන් වූ දස අවුරුදු සැලැස්ම මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති.

මෙම දස අවුරුදු සැලැසුම සකස් කරන ලද්දේ පවතින්නා වූ අවකාශ, අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනා ගනිමින් අනාගත ක්‍රියාමාර්ග වෙනුවෙන් වූ ක්‍ර‍මොපායන් සහ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත ආදිය සැලකිල්ලට ගනිමිනි. සුනාමි වැනි දුලබ ව්‍යසන මෙන්ම අනෙකුත් සුලබ හා සියලුම ස්වාභාවික ව්‍යසනයන් සම්බන්ධයෙන් කාර්යක්ෂම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් මාගේ අමාත්‍යාංශය යට‍තේ පිහිටුවීමට කටයුතු කෙරෙමින් පවති. සන්නිවේදන සූදානම, අවදානම් අවම කිරීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම ප්‍රතිචාර යාන්ත්‍රණයකින්ද මෙම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සමන්විතය. සුරක්ෂිත ශ්‍රී ලංකා‍වක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රධාන ප්‍රමුඛතාවයන් පිළිබඳ මනා අව‍බෝධයක් සහිතව ආයතනික පදනමින් සහ නීතිමය වශයෙන් ලද සහයෝගය ඇතිව ප්‍රතිපත්ති රාමුව සකස් කර අවසන් වී තිබේ. මෙම සංවර්ධනය සඳහා වූ මාර්ගයේ ගමන් කිරීමේදී ලෝක කාලගුණ විද්‍යා සංවිධානය තවදුරටත් අපගේ හවුල්කරු වශයෙන් අපට සහය ලබාදෙමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

ඔබ සියලු දෙනාගේ කටයුතු සාර්ථක වේවා!යි මම ප්‍රාර්ථනා කර සිටිමි. ‍


හොරවාපතානට ආපදා කළමනාකරණය පිළිබද පුහුණු මධ්‍යස්ථානයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරවාපතාන ඡන්ද කොට්ඨාසයේදී ආපදා කළමනාකරණය පිළිබද පුහුණු මධ්‍යස්ථානයක් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අතින් පසුගියදා විවෘත කළේය.

රජරට සංවර්ධන පදනමේ සභාපති හා ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ඉල්ලීමකට අනුව ඉතාලියේ අවුස්තා වැලි ප්‍රාන්ත පලාත් සභාව විසින් රුපියල් මිලියන 80ක් පමණ වන මුදලක් වැය කළ මෙම පුහුණු මධ්‍යස්ථානය පරිගණක ඒකකයක්, ගිනි නිවන ඒකකයක් හා අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විතයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ, එස්. එම්.චන්ද්‍රසේන හා උතුරු මැද පලාත් මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක සහ ඉතාලි අවුස්තා වැලි ප්‍රාන්තයේ අමාත්‍ය රො‍බරිතෝ විකේරී යන මහත්වරුන් අතින් පුහුණු මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවයි.


ආපදා කළමනාකරණය පිළිබද පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුලු පිරිස ව්‍යාපෘති භූමිය වෙත කැඳවා ගෙන යන ආකාරය



පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම‍ට සමගාමීව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනුග්‍රහයෙන් විදුලිජනක යන්ත්‍රයක් හොරවාපතාන ප්‍රාදේශීය සභාවට පරිත්‍යාග කිරීමේ අවස්ථාව


පුහුණු මධ්‍යස්ථානය ඇතුළත සිදු වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගිනි නිවන භටයන් විසින් ඉදිරිපත් කළ ආදර්ශ පුහුණු කටයුත්තක් ආරාධිතයන්ට ප්‍රදර්ශනය කළ අවස්ථාව

පසුගිය පුවත්

 

--------------------------