home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


මාධ්‍ය ප්‍රකාශන


2007 අගෝස්තු 29
ප්‍රවෘත්ති නිවේදනයයි
නිවැසියන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රියාපටිපාටිය

23 වන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නිවැසියන් ලියාපදිංචි කිරීම පිළිබඳව වූ විවිධ ක්‍රියාමාර්ගයන් සම්බන්ධව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය වෙත සිවිල් සමාජයේ නියෝජිතයන්ගෙන් කරුණු දැක්වීම ඉදිරිපත් විය. ඒ අනුව දිවයින පුරා එකම ක්‍රමයකට ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම පිණිස අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම සඳහා අමාත්‍යාංශය, නීතිපතිතුමාගේ හා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා ලදී.

2006 ජුනි මස සිදු කළ 23වන හදිසි අවස්ථා රෙගුලාසි සංශෝධනය අනුව ලියාපදිංචි කිරීමේ පටිපාටයේ ප්‍රශ්න සහගත කරුණු පිළිබඳව මෙම නියෝජිතයන් විසින් අවධාරණයට ලක් කෙරුණි.

එම රෙගුලාසියෙන් කියවෙන්නේ,

23. (1) සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින්ම තම පොලිස් ස්ථානයට අයත් ප්‍රදේශය තුළ පදිංචි වී සිටින සෑම ගෘහ මූලිකයෙකුටම තම නිවසේ තමා සමඟ තාවකාලික හෝ ස්ථිර වශයෙන් පදිංචි වී සිටින සියලුම තැනැත්තන්ගේ හා සේවකයන්ගේ ලැයිස්තුවක් තම පවුලේ සාමාජිකයන්ගෙන් වෙනත් පදිංචිකරුවන් වෙන් කර දක්වමින් සපයන ලෙස විධාන කරනු ලැබිය හැකිය. තවද ඉහත කී පොලිස් නිලධාරියා විසින් විධාන කරනු ලැබුවහොත් කලින් කල ගෘහ මූලික විසින් සපයන ලද ලැයිස්තුවේ සිදුවන්නා වූ යම් වැඩිවීමක්, අඩුවීක් ‍හෝ වෙනස්වීමක් එම පොලිස් නිලධරයා වෙත වාර්තා කරනු ලැබිය යුතුය.

(2) (1) වැනි ඡේදය යටතේ විධානයක් ලැබුණු කිසිදු ගෘහ මූලිකයෙකු විසින් අමුත්තෙකු රඳවා ගැනීම පිළිබඳව තම ප්‍ර‍දේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැන්වීමක් නොකර එසේ අමුත්තකු රඳවා නොගත යුතුය.

(3) (1) වැනි සහ (2) වැනි ඡේද යටතේ තොරතුරැ සැපයීම සඳහා කරනු ලැබූ විධානයන්ට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින සෑම ගෘහ මූලිකයෙකුම වරදකට වරදකරු වන්නේය.

මේ අනුව මහින්ද සමරසිංහ අමාත්‍යතුමන් සභාපතීත්වය දරන උපදේශක මණ්ඩලයේ හා මානව හිමිකම් පිළිබඳව අන්තර් අමාත්‍යාංශ කමිටු රැස්වීමෙහිදී මෙම කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පොලීසිය නියෝජනය කරමින් මෙම කමිටුවට සහභාගී වන නිලධාරින් කලින් පැවති ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී. යෝජිත ක්‍රියාපිළිවෙළෙහි නීත්‍යානුකූලභාවය හා ව්‍යවස්ථානුකූලභාවය ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා සිටි අතර අවශ්‍ය උපදෙස් ලබාදී තිබුණි.

පෙර පැවති ක්‍රමයේ විෂමතාවයන් නිවැරදි කිරීම සඳහා පොලිස්පතිතුමා දැක්වූ කඩිනම් ප්‍රතිචාරය ගැන ඔහුට ඇමතිතුමා ප්‍රශංසා කළේය. පොලිස්පතිතුමා හා නීතිපතිතුමා විසින් මෙම කාර්යයේදී මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ කමිටුව වෙත දැක්වූ සහයෝගය පිළිබඳව සතුට පළ කරන ලදී.

යෝජිත ක්‍රමය ගැන ඇමතිතුමාට සෑහීමකට පත්වන බව ප්‍රකාශ කරන ලදී. මින්මතු සෑම ගෘහයකින්ම එහි නිවැසියන්ගේ විස්තර ලබාගැනීමේදී ඔවුන්ගේ ජාතිය, ආගම, භාෂාව හා එවැනි වෙනත් කරුණු ගැන තොරතුරු ලබාගැනීමකින් තොරව එය සිදු කළ යුතුය. මෙතැන් සිට ගෘහ මූලික විසින් සැපයිය යුතු තොරතුරු වන්නේ ගෘහ මූලිකයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය, පවුලේ සාමාජිකයන්ගේ නම් සහ වයස, හැඳුනම්පත් අංකයක් හා ඔවුන් ගෘහ මූලිකයාට ඇති සම්බන්ධතාවය පමණි. එම නිවෙස්වල තාවකාලික පදිංචිකරුවන්ගේ හා මෙහෙකරුවන්ගේ විස්තරද ලබාදිය යුතුවේ. ඔවුන් තාවකාලිකව පදිංචිවී සිටින කාලය සහ හේතුවද සඳහන් කළ යුතුය. ග්‍රාමීය මට්ටමේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් මෙම තොරතුරු රැස් කිරීමට සහය වනු ඇත. මෙම විස්තරවල වෙනස්වීමක් ඇතිවුවහොත් අදාළ පොලිස් ස්ථානාධිපති වෙත ලියාපදිංචි තැපෑලෙන් දන්වා යැවිය හැකිය. පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙළ සම්බන්ධයෙන් විස්තරාත්මකව චක්‍රලේඛයක් පොලිස්පතිතුමා විසින් ඔහුගේ දෙපාර්තමේන්තු නිලධාරින්ට නිකුත් කර තිබේ.

ඉදිරි කාලයේදී මෙම නව ක්‍රියාපටිපාටිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ජාතික ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

--------------------------